අපගේ දැක්ම

"න‍ව දැනුමින් පිරිපුන් කාර්ය මණ්ඩල‍යක් සමගින් ප්‍රාදේශීය පරිපාලනයේ විශිෂ්ටයෙකු වීම"

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

ආතනයේ විකාශන‍ය

1998.08.01 දින සිට මෙම බල ප්‍රදේශය කුරුවිට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය යටතේ රබර් පාලන දෙපාර්තමේන්තුවේ නිල නිවසක තාවකාලිකව උප කාර්යාලයක් ලෙස සීමිත කාර්ය මණ්ඩල‍යකින් යුක්තව ක්‍රියාත්මක විය. පසුව කුලී පදනම මත ලබාගත් ප්‍රධාන මාර්ගය අසල ගොඩනැගිල්ලකට ගෙන එන ලදී.

කච්චේරි ක්‍රමය යට‍තේ දිස්ත්‍රික් මට්ටම දක්වා විමධ්‍යගත කර තිබූ රාජකාරි 1992 වසරේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාල වල‍ට ප‍වරා දීමෙන් ඇරඹි පරිපාලනය විමධ්‍යගත කිරීමේ වැඩස‍ටහන තවදුරටත් අර්ථ‍වත් කරමින් විශාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ නැවත බෙදා වෙන්කිරීමේ තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් 1998.10.27 දින කුරුවිට ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් කොටසක් වෙන්කර කිරිඇල්ල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ස්ථාපනය කරන ලදී.

මේ අනුව 1998.10.27 දින සිට විවිධ දුෂ්කරතා සහ අභියෝග රැසක් මැද ප්‍රදේශවාසී ජනතාව‍ගේ උපතේ සිට මරණය දක්වා පැතිර පවත්නා අවශ්‍යතා රැසක් ඉටුකිරීමේ අපගේ මෙහෙවර දැඩි ඇපකැපවීමකින් සහ ඉහල ම‍ට්ටමක රාජ්‍ය අනුග්‍රහයකින් යුක්තව ජය ගත යුතු ඉලක්කයක් විය.

 

ප්‍රවේශ මාර්ගය

කිරිඇල්ල ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයට පිවිසෙන ප්‍රධාන මාර්ගය පානදුර රත්නපුර ඒ 8 මාර්ගයයි.  මෙම මාර්ගයේ පානදුර සිට 37 වන කිලෝ මීටර් කණුවෙන් ඇල්ලගාව වසමෙන් කොට්ඨාසය ඇරඹෙන අතර 63 වන කිලෝ මීටර් කණුවෙන් හොලීපිටිය වමේ කෙළවර කහංගමින් කොට්ඨාසය අවසන් වේ.එම මාර්ගයේ 49 වන කිලෝ මීටර් කණුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන නගරය වන ඉඩංගොඩ නගරයේ පිහිටි අතර ඒ අසල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය පිහිටයි. මෙම මාර්ගය කොට්ඨාසයේ දකුණු මායිමෙන් පිහිටි කළු ගඟට සමාන්තරව නැගෙනහිර බටහිර දිසා ගතව දිවේ.

ඉඩංගොඩ නගරයේ සිට උතුරු දෙසට දිවෙන හිඳුරංගල හරහා ඇහැලියගොඩ බී ශ්‍රේණියේ මාර්ගය කිලෝ මීටර් 14ක් දුර වන අතර එන් ඉඩංගොඩ සිට 5 වන කිලෝ මීටර් කණුවෙන් හිඳුරංගල ග්‍රාම නිලධාරී වසමේ මායිමෙන් අප කොට්ඨාසය අවසන් වේ. කොළඹ රත්නපුර ඒ 3 මාර්ගයෙන් පැමිණෙන අයෙකුට ඇහැලියගොඩ නගරයේ සිට කිලෝ මීටර් 14ක් දුරින් ඉඩංගොඩ නගරයට පිවිසිය හැක.

ඊට අමතරව හැරණියාවක පාලමෙන් එගොඩ වී අයගම නගරයට පිවිසෙන මාර්ගයෙන් දකුණු දෙසට අයගම හරහා කලවානට පිවිසිය හැක.

කොළඹ රත්නපුර මාර්ගයේ බදුවත්ත හන්දියේ සිට කිලෝ මීටර් 13ක් වන කුරුගම්මෝදර දක්වා වන සී ශ්‍රේණියේ මාර්ගයෙන් උතුරු දෙස සිට ද කුරුවිට නගරයෙන් හා කඳන්ගොඩ සිට පානදුර රත්නපුර මාර්ගයේ ගොරකඇල හංදිය දක්වා වන සී ශ්‍රේණියේ මාර්ග වලින් නැගෙනහිර දෙස සිට ද අප ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයට පිවිසිය හැක.

කළු ගඟ හරහා බටහිර දොඩම්පෙ වසමෙන් දකුණු දෙසට ඇලපාත ප්‍රාදේශීය මහලේකම් කොට්ටාසයේ දම්බුළුවන කහවත්ත ග්‍රාම නිලධාරී වසමට වැටී ඇති වැලමිටිමුල්ල මගී තොටුපල ද, එපිටවල වසමෙන් දකුණු දෙසට කැටේපොල මගී තොටුපල ද, අයගම ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයට ඇල්ලගාව වසමෙන් දකුණු දෙසට වැටී ඇති කැටේපොල පාලම සහ දුම්බර මගී තොටුපලද මෙම කොට්ඨාසයට පිවිසිය හැකි වැදගත් පිවිසුම් මංකඩ කීපයකි.

 

පිහිටීම මුල්කරගත් තොරතුරු

රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාස 17 අතරින් 16 වන ස්ථානය ගන්නා අප කොට්ඨාසය විශාලත්වයෙන් හෙක්ටෙයාර් 7808.2කි.

උතුරින් ඇහැලියගොඩ ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසය හා කුරුවිට ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයෙන් ද,  දකුණෙන් අයගම හා ඇලපාත ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාස වලින් ද, නැගෙනහිරින් රත්නපුර ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයෙන් ද, බටහිරින් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයෙන් ද මායිම් වී ඇත.

ග්‍රාම නිලධාරී වසම් 17කින් සමන්විත මෙහි ගම් 35ක් වේ. පවුල් 8470ක් තුල මුළු ජනගහනය 32224ක් පමණ වේ.

si

 

ඉතිහාසය

ඇල්ලේ දේවාලය මුල් කරගෙන සැදුම්ලත් ඇල්ලේ කපුරාලලාගේ පරම්පරාව ඇල්ලගාව ග්‍රාම නිලධාරි වසමෙහි මුල් පදිංචිකරුවන් ලෙස සැලකිය හැකිය.

යටිපව්ව ග්‍රාම නිලධාරී වසමේ නැගෙනහිර දෙසින් “කො‍දාගල කඳු පර්වතය” පිහිටා ඇත. එයට පහලින් එය පාමුල පිහිටි හෙයින් ‘යටිපව්ව’ යන නම මෙම ග්‍රාමයට යොදා ඇත. එහි මුල් පරම්පරාව හැටියට ‘අමරසිංහ ආරච්චිගේ පරම්පරාව’ හා ‘අතුකෝරල පරම්පරාව’ හැඳින්විය හැකිය. ‘පතිරආරච්චිගේ’ යනුවෙන් තුන්වෙනි පරම්පරාවක් ද පසු කාලයක බිහි වී ඇත.

මුනිහින්කන්ද’ වර්තමානයේ ‘මුණසිංහපුර’ යනුවෙන් භාවිතා වේ. මුණිහින්කන්ද පරම්පරාවෙන් පැවත එන ජන කොටසක් මෙහි ‍පදිංචි වී සිටි. දැනට කිරිඇල්ල පරණ පොලිසිය අසලින් පටන් ගන්නා රජ මාවත වැටි ඇත්තේ ‘‘හාන්ඳුකන්ද” ග්‍රාම නිලධාරි වසමෙහි ‘කොඩිතුවක්කුකන්ද’ ගම හරහාය. රාජසිංහ රජතුමා එම මාර්ගයේ ගමන් කළ බවත්, එම මාර්ගය දෙපස නා පැල සිටවූ බවත් සඳහන් ය. පැරණි රජ සමයේ සටන්වල දි කොඩියත්, තුවක්කුවත් ගෙන පෙරට ගියේ මෙම ගම්වාසින් බවත් ඔවුනට කොඩිතුවක්කුකන්ද නමින් ගම්වරයක් වෙන් කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

කබරගලකන්ද මුදුනින් එම ගල මතට දිය ඇල්ලක් වැ‍ටේ. එම දිය ඇල්ල අතීතයේදි කිරි පාටට ඇද හැලීම නිසා ‘කිරිඇල්ල’ ගමෙහි නම නිර්මාණය වි ඇත.

අකුරණ ග්‍රාම නිලධාරි වසම අකුරණ හා පහලකන්ද , යන ගම් දෙකින් සමන්විත ය. අකුරණ වෙල් යාය ආශ්‍රිතව අකුරණ යන නමින් අකුරණ ගම හැඳින්වු බවත් අවට ප්‍රදේශයට සාපේක්ෂ ව පහලින් පිහිටා ඇති කඳු වැටිය යන අර්ථ ඇතිව පහලකන්ද ගම හඳුන්වා ඇති බවටත් තොරතුරු ඇත. මෙම ප්‍රදේශයේ බක්මහ උළෙලට පෙර අළුත් සහල් මංගල්‍යය නමින් අළුතින් අස්වනු කපා දෙවියන් උදෙසා පූජා අද දක්වා ද පැවැත්වේ. මේ සඳහා අකුරණ වෙල් යායේ එක් නියමිත ස්ථානයක් තෝරා ගැනීම කර ඇත. ගම්වැසියන් බොහෝ දෙනෙකුගේ එකමුතුවෙන් මෙම දේව පූජාව පවත්වනු ලැබේ.

එල්ලාවල පහලගම ග්‍රාම නිලධාරි වසමෙහි ප්‍රාග් ඓතිහාසික යුගයේදි මිනිස් වාසයක් තිබුණු බවට පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ පර්යේෂණවලින් දැන ගත හැකිය. අතිතයේ ගල්ලෙන්වල ජීවත්වු අයගේ පරම්පරාවෙහි අය දැනුදු ජිවත් වෙති. එල්ලාවල ගල්ලෙනගේ යන අය එම පරම්පරාවට අයත් ය. සිතාවක රාජධානිය , මහනුවර යුගයේදී රාජ්‍ය ගොදුරු ගමක් වූ මෙම ප්‍රදේශයේ එක් කෙලවරක පිහිටි ගල්ලෙන් විහාරය හා එල්ලාවල ද ඉතිහාසයට අයත් ය. සීතාවක රාජධානියේ තුන් වරක් කිරුළ හෙබවූ රාජසූරිය කුමරුන් මෙම ප්‍රදේශයේ ජීවත් වු බව අති පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ “සබරගමුවේ ලියවිලි ” ග්‍රන්ථය දක්වයි. එසේ ම බ්‍රිතාන්‍යය කිරීටය සඳහා මනන්ඇල්ලෙන් හමු වූ මැණික් ගෙන ගිය බව ද ඉතිහාසය සඳහන්වේ.

     සීතාවක රජතුමා ප්‍රදේශයේ සැරිසරන විට නවාතැන්පලක් වශයෙන් දෙහෙරගොඩ පිහිටි කැන්දලන්ද ප්‍රදේශයේ ස්ථානයක් තෝරාගෙන ඇත. එම ස්ථානයේ පැරණි වෙහෙරක නටඹුන් ඇත. මෙහි ‘‘මැණික් පතන” නමින් වලක් ඇති අතර එතැනින් සොයා ගන්නා ලද රතු මැණික් ගලින් මිරිස් ගලක් කොටා ඇත. වෙහෙර තැනූ නිසා දැනට භාවිතා කරන දෙහෙරගොඩ යන නම අතීතයේ හඳුන්වා ඇත්තේ වෙහෙරගොඩ යනුවෙනි.

දොඩම්පෙ පැරණි රජවරුන්ට සේවා සැපයූ ගමකි. රජවරුන්ට සේවා සැපයූ නිසා දොඩම්පේ යන නම ලැබී ඇති බව ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට සියලු ජ්‍යෝතිෂ කටයුතු කළ දොඩම්පෙ ගණිතයා ගුරුන්නා‍න්සේ’ පදිංචිව සිටියේ මෙම ගමේ බව ද ජනප්‍රවාද වල පැවසේ. ඔහුගෙන් පැවත එන පරම්පරාව අදත් මෙහි සිටිති. සම්ප්‍රදායික චාරිත්‍ර වශයෙන් හොල්මන්, භූත වැනි දේ විශ්වාස කිරීමත් දෙවියන් පිළිබඳ විශ්වාසයත් අදත් මිනිසුන් අතර පවතී. ඒ වෙනුවෙන් කට්ටඩි ගුරුකම්, බලි තොවිල් ආදිය කිරීම අදත් පවතී

     ‘හොලීපිටිය’ ප්‍රදේශයේ අය ශ්‍රී සුමන සමන් දේවාලයට සේවා සැපයූ අය වෙති. මෙහි ඇති ගම් වැඩි කොටසක් අදත් දේවාලයට අයත් ‍ඒවා වේ. වාර්ෂිකව පැවැත්වෙන සමන් දේවා‍ලයේ පෙරහැර සඳහා සේවාවන් කිරිම සඳහා යාමට මෙහි ජීවත් වන වැඩි දෙනෙකුට පැවරී ඇත. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් මරණයක් හෝ උත්සව වැනි කටයුතුවල දි අවට සිටින අය බුලත් හුරුල්ලක් රැගෙන එම ස්ථානයට පැමීණිම සිරිතක් වශයෙන් කෙරේ.

ඓතිහාසික හා වැදගත් ස්ථාන

 Kabaragala WaterFall     

කබරගල දිය ඇල්ල ( කිරිඇල්ල)

‘කිරිඇල්ල’ කොට්ඨාසයේ ආරක්ෂක භටයෙකු මෙන් දැවැන්ත හස්ති රාජයෙකුගේ දසුන් මවන ‘කබරගල කන්ද’ උතුර දෙසින් පිහිටා ඇති ‘කිරිඇල්ල’ ප්‍රදේශයට තෝතැන්නක් ලෙසින් ‘කිරිඇල්ල’ නමින් පටබදිමින් ඇද හැලෙන දිය ඇල්ලෙන් කිරිඇල්ලේ අභිමානය තහවුරු කෙරේ. කිරිපාටට මෙම දිය ඇල්ල ඇද හැලෙන නිසා ‘කිරිඇල්ල’ යන නම පට බැඳි ඇත. 

 

 EllaDewalaya     

 

ඇල්ලේ දේවාලය

සබරගමු පලාතේ පිහිටා ඇති දේවාල අතුරින් ‘ඇල්ලේ දේවාලය’ ප්‍රසිද්ධියක් උසුලයි. පැණිගල ඇල්ල ආශ්‍රිතව මෙම දේවාලය පිහිටා ඇති නිසා ‘ඇල්ලේ දේවාලය’ ලෙස හඳුන්වනු ලබයි. ප්‍රදේශයේ ජනතාව විසින් මෙම දේවාලයට පුද පූජා පවත්වනු ලබන අතර 1521 වර්ෂය ‘සීතාවක’ හා ‘රයිගම’ රාජධානිය වෙන් වූ මායිම ලෙස මෙම දේවාලය නම් දරා තිබේ.

 nadun     

නැදුන් රජ මහා විහාරය

සබරගමු පලාතේ පිහිටා ඇති ප්‍රධාන මල්වතු මහා විහාර පාර්ශවයට අයත් සියම් මහා නිකායික විහාරස්ථාන පහෙන් එකක් ලෙස ‘කිරිඇල්ලේ නැදුන් රජ මහා විහාරය’ නම් දරා තිබේ. ලක් දිව අවසන් වරට රජ කළ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා විසින් සිය ආරාධනය අනුව මුතුවන් අකුරින් ධර්ම ග්‍රන්ථය ලියා දීම ගැන සතුටට පත්වී එම ග්‍රන්ථය රචනා කළ උගත් ධර්මධර භික්ෂුන් වහන්සේ නමක් වූ කරඳන දේව රක්ඛිත මහා ස්ථවිරයන් වහන්සේට ව්‍යංඤජනයට ‘මියනදළු’ කඩා ගැනිම සඳහා ඉඩම් කැබැල්ලක් පූජා කොට ඇත. මෙය අක්කර 12000 ක් පමණ වන නින්ද ගමකි. මෙම භුමි භාගය ආශ්‍රිත ව ‘නැදුන් රජ මහා විහාරය’ පිහිටා ඇත.

සිරිපා අඩවියෙන් ගලා බසින කළු ගංගා නදියේ සුවබර පහස ලබමින් සැනැසෙන කිරිඇල්ල ගම් ප්‍රදේශය, කළු ගංගාවෙන් උතුරා යන ජල කඳට යටවන පහත් බිම් සහිත ප්‍රදේශයකින්ද, සෑම පැත්තකින්ම අහස උසට නැගී වට වී තිබෙන කඳු වළල්ලක් සහිත දර්ශනයන් ගෙන් ද, මෙම විහාර භුමිය අලංකාර වි ඇත. ගං වතුරට ඔරොත්තු දෙන ලෙස නැදුන් ලීයෙන් මෙම විහාරය නිම කර තිබිම සුවිශේෂ කරුණකි. ලංකාවේ විශාල ම හා සුවිශේෂ ලක්ෂණයන්ගෙන් යුත් ඇත්දළ යුගලය ද මෙම විහාරය සතුව ඇත. මෙම ඇත්දළ යුගලයේ උස අඩි 7 අඟල් 7ක් පමණ වේ

 na    

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සිට සැතපුම් 6ක් පමණ දුරින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම පූජ්‍ය භූමිය පිළිබඳ ගැඹුරු ඉතිහාසයක් ඇත.

කිරිඇල්ල නැදුන් රජමහා විහාරය සීතාවක පළමුවෙනි රාජසිංහ රජු සමයෙහි සිට ප්‍රසිද්ධියක් උසුලයි. ක්‍රි.ව 1581 සිට 1593 වකවානුවේ පළමුවෙනි රාජසිංහ රජු හින්දු ආගම වැලද ගැනීම නිසා මෙම විහාරය ද හුදෙකලා වූ බව පැවසේ.

 nad   මෙකල වැඩසිටි උඩකරඳන දේව රක්ඛිත නම් හිමිනමකගේ අත් අකුරු කලාව ගැන පැහැදුණු පළමුවෙනි රාජසිංහ රජු තමන්ට මැදුම් සඟියක් ලියා දෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පරිදි මැදුම් සඟිය නම් ග්‍රන්ථය ලියා රජුට පිළිගැන්වීම නිසා සතුටට පත් පළවෙනි රාජසිංහ රජු විසින් අක්කර 8305 පමණ නින්දගමක් දේවරක්ඛිත හිමිට පූජා කොට ඇත. මෙම ලියවිල්ල සබරගමු මහනුවර දිසා ඇමති ලෙස කටයතු කළ අබයකෝන් මුදියන්සේ විසින් රාජ නියෝග මත ලියවා අත්සන් කර දී ඇත. මෙම ලේඛනයට අනුව මෙම දේපල සඳහා උරුමය නැදුන් රජමහා විහාරවාසී භික්ෂූන්ට පමණි.‍
 nadu   මෙම විහාරයේ විහාර මන්දිර තුනකි. ඉන් එක් විහාරයක් ටැම්පිට විහාරයකි. එම විහාරය නැදුන් ලීයෙන් තනා ඇත. නැදුන් ලීයෙන් තනා ඇති බුද්ධ ප්‍රතිමාවක් එහි දක්නට ඇත. එය නැදුන් ලීයෙන් සාදන ලද ආසනයක් මත තැන්පත් කර ඇත. සීතාවක යුගයේ දේව සංකල්පය ඉස්මතු වූ බැවින් සමන්-විශ්ණු දේව පිහිට දක්නට ඇත. විහාරයේ මල් ආසන කිරි ගරුඩ වලින් නිමකර ඇත.
 FB IMG 16210881342484192   දුටුගැමුණු රජුගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතුගේ ඇත්දළ යුවල මෙම විහාරයේ තැන්පත් කර ඇති බව සැලකේ. පළමු රාජසිංහ රජු විසින් පසුකාලීනව මෙම විහාරයට සැලකිල්ලක් දැක්වූ බව ද හිරිහැරයක් පීඩාවක් නොකළ බවද පැවසේ.

 

සේවය කල ප්‍රදේශිය ලේකම්වරුන්

b dumy 
 
 එම්.කේ.ජී.කේ. නැම්මවත්ත මහතා
1996.08.01 සිට 1998.10.07 දක්වා
 
 b dumy  
කේ.කේ. ගුණපාල මහතා
1998.10.28 සිට 2006.02.09 දක්වා
 b dumy  
කේ.වී. පෙරේරා මහතා
2006.02.15  සිට 2006.04.18 දක්වා
 b dumy  
එම්.ඩබ්ලිව්.කුලතිලක මහතා
2006.04.19 සිට  2012.05.08 දක්වා
 Mrs.PradeepikaIllukkumbura 01  
 
අයි.ආර්.එම්.පී.ඩී. ඉලුක්කුඹුර මහත්මිය
2012.05.10 සිට 2018.08.24 දක්වා
 Mr.JLCKJayasinghe 01  
 
ජේ.එල්.සී.කීර්ති ජයසිංහ මයා
2012.08.29 සිට 2021.01.15
 HSPradeep  
 
එච්.එස්.ප්‍රදීප් මයා (රාජකාරී ආවරණ) 
2021.01.27 සිට 2021.12.03
 Mr.SMDCSamarasekara 01  
 
එස්.එම්.ඩී.සී.සමරසේකර මයා 
2021.07.13 සිට 2021.09.30
BMBMABatugedra 1
 
 
බී.එම්.බී.එම්.ඒ.බටුගෙදර මයා(වැඩ බලන) 
2021.10.10 සිට මේ දක්වා

 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මායිම /වසම් මායිම් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිතියම

කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

උතුරින් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, දකුණින් ඇලපාත හා අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ද නැගෙනහිරින් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, බටහිරින් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම් ව ඇත.

si

News & Events

Scroll To Top